සීගිරිය ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂාවට, ප්‍රචලිත කිරීමට සහ ප්‍රවර්ධනයට අවශ්‍ය නියමු සැලැස්මක් මේ වන විට සකස් කර අවසන් බවත්, එළඹෙන 2024 වසරේ මාර්තු මස වන විට එහි වැඩ කටයුතු සාර්ථකව සිදු කළ හැකි බවත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කර ඇත.

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය පිළිබඳව දේශීය විදේශීය ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ සීගිරිය පුරාවිද්‍යාත්මක ස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ජාතික උරුමයන් නම් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්,( ශ්‍රී ලංකාවේ තේ භූ දර්ශනය, ශ්‍රී ලංකාවේ මුහුද ආශ්‍රීත වෙළෙඳ මධ්‍යස්ථාන, 17 වන සියවසේ මෙරට ප්‍රචලිත දේවස්ථාන, පුරාණ වාරි පද්ධතිය, මිහින්තලය, බුදුරුවගල දඹේගොඩ ආදී මහායාන ආභාෂය සහිත ස්ථාන, නුවර යුගයේ බිතු සිතුවම්, ප්‍රාග් ඓතිහාසික ගුහා හා ලෙන්, නුතන ගෘහ නිර්මාණ, අරංකැලේ, රිටිගල මානාකන්ද ඇතුළු පබ්බත විහාර ) ආදීය ශ්‍රී ලංකාවෙන් ලෝක උරුම ලේඛණය සඳහා අලුතින් එකතු කිරීමට යෝජනා කර ඇති බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

අලුතින් ආරම්භ කර ඇති සීගිරි පර්වත මස්තකයේ සිට ඉර උදාව සහ ඉර බැසීමේ දර්ශනය නැරඹීමේ වැඩසටහන විදේශීය සංචාරකයන් අතර මහත් ලෙස ප්‍රචලිත වී ඇති බවත්, තවදුරටත් සීගිරිය ආශ්‍රීතව සහ පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි සිදු කෙරෙන ව්‍යාපෘතින් පිළිබඳව දෙස් විදෙස් සංචාරයන් දැනුම්වත් කරන ලෙස ද සියලුම මාධ්‍ය ආයතන මඟින් අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් ද කර තිබේ.