සීමා නිර්ණ කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාර දී තිබේ.

එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වෙත කමිටු වාර්තාව භාර දී ඇත.

දැනට සිටින 8,000කට අධික පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින් සංඛ්‍යාව අඩකින් අඩු කිරීම එම කමිටුවේ සැලැස්ම වී තිබේ.

ඒ අනුව පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව නව සීමා නිර්ණය යටතේ 4,000 දක්වා පමණ අඩු වනු ඇත.

පසුගිය නොවැම්බර් මස පළමු වැනිදා සීමා නිර්ණ කමිටුව පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පියවර ගත්තේය.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පත් කෙරුණි.

කෙසේවෙතත් අදාළ කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කළේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් මෙය පත් කළ බවය.