නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා පොදු සමා කාලය ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ ප්‍රකාශිත පොදු සමා කාලය තුළ තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවයෙන් ඔවුන්ට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

වැඩිදුරටත් එම නිල නිවේදනයේ සඳහන්වන්නේ 2024 අප්‍රේල් මස 02 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකල නිලධාරි හා සෙසු නිලයින් පහත සඳහන් ලිපි ලේඛන සමගින් තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පමණක් රපෝර්තු කළ යුතු බවය. එලෙස රපෝර්තු කිරීමෙන් පසුව අස්කිරීමේ මූලික පාලන කටයුතු පැය 72 ක කාලසීමාවක් තුළ සිදුකර යුද හමුදා සේවයෙන් නීත්‍යානූකූලව ඉවත් වීම සඳහා කටයුතු සලසා දී තිබේ.

* යුද හමුදා හැඳුනුම්පත (යුද්ධ හමුදා හැඳුනුම්පත අස්ථානගතව ඇත්නම් මෑතකදී ලබාගන්නා ලද පොලිස් වාර්ථාවක පිටපතක්)

* ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්.

* වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායාස්ථ පිටපතක්.

* අවසන් වරට වැටුප් හා දීමනා ලබාගන්නා ලද වැටුප් පත්‍රිකාවේ ඡායාස්ථ පිටපතක් (ඇත්නම් පමණක්)

නිවාඩු නොමැතිව සේවයට වාර්ථා කිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී කටයුත්තකට සම්බන්ධ වී නොමැති සහ නීත්‍යානූකූලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත්වීමකින් තොරව විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයින්ටද නැවත රපෝර්තු කිරීමකින් තොරව තම රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවයෙන් මෙම පොදු සමා කාලය තුළදී නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීමට පහසුකම් සලසා දී ඇති බව එම නිල නිවේදනයේ තවදුරටත් සඳහන්වේ.