ඊයේ (15) ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර වෙක්ලිහි දේවස්ථානයක බිෂොප්වරයෙකුට සහ පූජකයෙකු ඇතුළු තවත් දෙදෙනෙකුට පිහි ප්‍රහාරය එල්ල කිරීම ත්‍රස්ත ක්‍රියාවක් බවයි ඔස්ට්‍රෙලියානු පොලිසිය පවසන්නේ.

සිඩ්නිහි බටහිර උපනගරය වන වේක්ලි හි ක්‍රයිස්ට් ද ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයේ යෙදී සිටි මාරි මාරි එම්මානුවෙල් බිෂොප්වරයා ඉලක්ක කරගෙන එල්ල වූ මෙම පිහි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රෙලියානු පොලිසිය සඳහන් කරන්නේ, සියලු කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව එළඹෙන නිගමනය නම් එය ආගමික අන්තවාදය මුල්කරගත් ක්‍රියාවක් බවයි.

කෙසේ නමුත් එම අවස්ථාවේ ම සැකකරු අත් අඩංගුවට ගැනුණු අතර මුලින් ඔහු 15 හැවිරිදි අයෙක් යැයි සඳහන් වුවත් නිව් සවුත් වේල්ස් පොලිසිය සඳහන් කරන්නේ, සැකකරු 16 හැවිරිදි අයෙක් බවයි.

මෙම පිහි ප්‍රහාර වැලැක්වීමට උත්සහ කළ 53 හැවිරිදි පුද්ගලයෙකුගේ හිසට කැපුම් තුවාල සිදුවී ඇති අතර, ඔහු මෙන් ම ඊට මැදිහත්වීමට උත්සාහ දැරූ 39 හැවිරිදි පුද්ගලයෙකුගේ ද උරහිසට කැපුම් තුවාල සිදුව ඇති බවත්, ඔවුන් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසනවා.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් ක්‍රයිස්ට් ද ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානය කියා සිටියේ, බිෂොප් එමානුවෙල්ගේ හිසට සහ ශරීරයට පහර කිහිපයක් වැදී ඇති බවත්, පල්ලියේ පූජක අයිසැක් රොයෙල් පියතුමා ද තුවාල ලබා ඇති බවයි.

තව ද විදෙස් පුවත් සේවය වාර්තා කරන්නේ, පිහිපහර වැදී තුවාල ලද බිෂොප්වරයා ලේ ගලමින් සිටියදී, “ඔහු ඔහුට පිහියෙන් ඇන පුද්ගලයා මත අත තබා, ‘ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබව ගළවාගනිත්වා’ වැනි දෙයක් කීවේය,” යනුවෙන් බටහිර සිඩ්නි හි උප නගරයක් වන ෆෙයාර්ෆීල්ඩ් සිටි හි නියෝජ්‍ය නගරාධිපති චාර්බෙල් සාලිබා සාක්ෂිකරුවෙකු උපුටා දක්වමින් පැවසූ බවයි