‘Fighter’ සිතූ තරම් සාර්ථක නොවුණේ ‘Top Gun’ කොපි කළ නිසාද?

2023 වසරේ ආරම්භය ‘Pathan’ බ්ලොක්බස්ටර් චිත්‍රපටය සමඟ ආරම්භ කළ අධ්‍යක්ෂක Siddhart  Anand  2024 වසර ආරම්භ කළේ ‘Fighter’ චිත්‍රපටයෙන්. 2024 ජනවාරි 25 දිනට යෙදුණු ඉන්දියානු ජනරජ දිනයට සමගාමීව ‘Fighter’ චිත්‍රපටය ලොවපුරා තිරගත කිරීම ආරම්භ කර මේ වනවිට සතියක් ගෙවී ගිහින්. නමුත්, Pathan චිත්‍රපටය තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්නට ‘Fighter’ චිත්‍රපටයට හැකි වුණාද කියන එක ගැන නම් ඇත්තේ සැකයක්. නිකුත් වී දින 7ක් අවසානයේ ඉන්දියානු රුපියල් කෝටි 240.82 ක් ලබා ගෙන සිටින ‘Fighter’ චිත්‍රපටයේ පිරිවැය ලෙස සඳහන් වන්නේ ඉන්දියානු රුපියල් කෝටි 250ක්. දින 7ක් අවසානයේ Pathan හි ආදායම සටහන් වුණේ ඉන්දියානු රුපියල් කෝටි 634 ක් වශයෙන්. තිරගත කළ පළමු දිනයේ කෝටි 22.5 ක් ආදායමක් ඉපැයූ ‘Fighter’ ඊයේ දිනයේ ලබා ගත්තේ කෝටි 7.75 ක ආදායමක් පමණයි. Hrithik Roshan, Deepika Padukone සහ  Anil Kapoor වැනි දැවැන්ත රංගන ශිල්පින් රංගනයෙන් දායක වන, ඉන්දියානු සිනමා ඉතිහාසයේ නිර්මාණය කළ හොඳම ගුවන් ක්‍රියාදාම (Ariel Action) චිත්‍රපටය ලෙස හැඳින්වෙන ‘Fighter’ චිත්‍රපටය ප්‍රේක්ෂකයින් අපේක්ෂාකළ තරම් සාර්ථක නොවුණේ ඇයි කියන කාරණය සොයා බලන්නට වටිනවා.

‘Fighter’ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූ අවස්ථාවේ සිටම එහි දර්ශන සුපිරි හොලිවුඩ් නළු Tom Cruise ගේ ‘Top Gun ((1986)’ සහ ‘Top Gun: Maverick (2022)’ චිත්‍රපටවල දර්ශනවල අනුකරණයක් ලෙස සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක්වීම මෙයට ප්‍රධාන හේතුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එහි සත්‍යයක් නැත්තේම නැති වුණත් බොලිවුඩයේ තැනෙන නිර්මාණයක් හොලිවුඩ් නිර්මාණයක් සමඟ සංසන්දනය විම වැළැක්විය හැකි දෙයක් නොවන බව අමතක නොකළ යුතුයි. බැලූ බැල්මටම ගුවන් සටන් (Sky combats) දර්ශන, කැමරා කෝණ (Camera angles) ආදියේ යම් සමානකම් දැකගන්නට හැකියාව නැත්තේ නැහැ. නමුත්,  සටන් නියමුවන් (Fighter Pilots) පිළිබඳව වන චිත්‍රපට දෙකක් අතර මෙවන් සමානකම් සැලකිය යුතු ඒවා ලෙස ගණන් ගත යුතු නැහැ. මොකද ‘Fighter’ චිත්‍රපටයේ අන්තර්ගතය මොනම ආකාරයකින් වත් ‘Top Gun’ චිත්‍රපටයට සමාන නොවිම හේතුවෙන්. බොලිවුඩ් ආරංචි මාර්ග වාර්තා කර තිබූ ආකාරයට ‘Fighter’ තිර පිටපත නිර්මාණය වී ඇත්තේ 2019 වසරේදී CRPF නිලධාරින් (Central Reserve Police Force) 40කට මරු කැඳවූ Pulwama ප්‍රහාරය සඳහා ප්‍රතිප්‍රහාරය වශයෙන් දියත් කළ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රතිප්‍රහාරය ඇසුරින්. ‘Fighter’ චිත්‍රපටය ‘Top Gun’ හි අනුකරණයක්ද යන්න වරක් මාධ්‍යෙව්දියෙකු විසින් අධ්‍යක්ෂක Siddharth Anand ගෙන් විමසා සිටි අවස්ථාවක ඔහු ප්‍රකාශ කළේ, යමෙක් එවැනි අදහසකින් චිත්‍රපටය නැරඹීමට පටන්ගත්තද විනාඩි 5ක් ගතවන්නට මත්තෙන් එම අදහස ඔහුගෙන් ඉවත් වනු ඇති බවටයි. ඒ හැර, චිත්‍රපටයේ අනෙකුත් තාක්ෂණික අංශයන් හොලිවුඩ් නිර්මාණ හා කරට කර පවතින බව නම් කිව යුතුමයි. චිත්‍රපටයේ ද්කනට ලැබෙන විශේෂ දෘශ්‍ය ප්‍රයෝග හා සජීවිකරණයන් කිසිම හොලිවුඩ් චිත්‍රපටයකට දෙවනි නොවන ලෙස නිමවා තිබීම අගය කළ යුතුමයි

චිත්‍රපටයේ අදායම අඩුවීමට බලපෑ අනෙකුත් ප්‍රධානතම හේතුව ලෙස හඳුනාගත හැක්කේ බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ හොඳ වෙළඳපලක් වන එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල්වල ‘Fighter’ තිරගත කිරීම තහනම් කිරීමයි. චිත්‍රපටයේ අන්තර්ගතයේ ගැටළුවක් මත එම රටවල තිරගත කිරීමට නියමිතව තිබූ ‘Fighter’ චිත්‍රපටය හදිසියේ තහනම් කරනු ලැබුවා. ඒ වන විටත් චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා වෙන් කළ ටිකට් පත් අවලංගු කිරීමටද කටයුතු කළ බව වාර්තා වී තිබුණා. ‘Pathan’ චිත්‍රපටය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වැඩිම ආදායමක් ලද බොලිවුඩ් චිත්‍රපටය වූ අතර, ගල්ෆ් කලාපයේ රටවල ප්‍රදර්ශනයෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 13කට ආසන්න මුදලක් උපයා තිබිමෙන්ම ‘Fighter’ චිත්‍රපටයට සිදු වී ඇති අලාභය කොතෙක්දැයි පැහැදිලි වනවා. මෙවැනි හේතූන් හැරෙන්නට ‘Fighter’ චිත්‍රපටය අසාර්ථක වීමට බලපෑ වෙනත් සැලකිය යුතු හේතුවක් නම් කිරීමට අපහසුයි.

බොලිවුඩ් රිදී තිරයේ පළමු වරට දැකගන්නට ලැබෙන Hrithik සහ Deepika සුසංයෝගය චිත්‍රපටයේ ආකර්ශණීය බව දෙගුණ තෙගුණ කර තිබෙනවා. මෙතරම් ගැළපෙන තිර පෙම්වතුන් යුවලක් මීට පෙර චිත්‍රපටයකට දායක කර නොගත්තේ මන්ද යන්නත් පුදුම සහගතයි. චිත්‍රපටයේ තිර රචනය සිදු කර ඇත්තේද Patty  සහ Miinny චරිත සඳහා Hrithik සහ Deepika සිතේ මවාගෙන බවයි තිරරචක Ramon Chibb පවසා ඇත්තේ. විශේෂයෙන්ම ‘Patty’  චරිතය නිරූපණය සඳහා Hrithik හැර බොලිවුඩයේ වෙනත් නළුවෙක් සිටිනවාද යන්නත් ගැටළුවක්. ඒ තරම්ම එම චරිතය සඳහා Hrithik අපූරුවට පෑහී තිබෙන බව කිව හැකියි. බොලිවුඩයේ දැනට සිටින දක්ෂතම නිළියන් අතර ඉදිරියෙන් සිටින Deepika Padukone ද සිය චරිතය මැනවින් ඉදිරිපත් කර තිබෙනවා. දැනට වයස වුරුදු 67ක වුවත් අවුරුදු 45ක ගුවන් හමුදා නිළධාරියකු ලෙස රංගනයේ යෙදෙන Anil Kapoor  ද දක්ෂ රංගනයක නිරත වන බව කිව යුතුයි. අධ්‍යක්ෂවරයා ‘Group Captain Rocky’ තුළින් අපේක්ෂා කළ පෞර්ෂය Anil Kapoor  කිසිඳු අඩු පාඩුවකින් තොරව ඉදිරිපත් කර ඇති බවට නම් සැකයක් නැහැ. චරිත පිළිබඳව කතා කරද්දී ප්‍රතිවීර චරිතය පිළිබඳවත් කතා නොකරම බැහැ. Rishabh Sawhney විසින් Azhar Akhtar නම් ප්‍රතිවීර චරිතය ඉතා අපූරුවට නිරූපණය කරනවා. තිරයේ දැක පුරුදු දුෂ්ඨයින්ට වඩා වෙනස් පෙනුමක් ලබා දීමට අධ්‍යක්ෂකවරයා ගෙන ඇති උත්සාහය සාර්ථක එකක් බවයි කිව හැක්කේ. මීට අමතරව Karan Singh Grover, Akshay Oberoi, Sanjeeda Sheikh  සහ Ashutosh Rana වැනි රංගන ශිල්පීන් ද චිත්‍රපටය සඳහා සාධනීය රංගන දායකත්වයක් ලබා දී ඇති බව කිව හැකියි.

බොලිවුඩ් චිත්‍රපටයක නොවරදිනදේශානුරාගයනොඅඩුව දනවන චිත්‍රපටයක් ලෙසත් ‘Fighter’ හඳුන්වා දිය හැකියි. ඇතැම් අවස්ථාවල එය සීමාව ඉක්මවා යන ආකාරයක් දක්නට ලැබුණත්, කිසිඳු ඉන්දියානු ප්‍රේක්ෂකයෙන් ඒ සම්බන්ධයෙන් නම් උරණ වේ යැයි සිතන්නට අපහසුයි. ‘දේශානුරාගයප්‍රේක්ෂකයාගේ හද පතුලට කාවද්දන ආකාරයේ “Vande Mataram” ප්‍රධාන ගීතය (Anthem) ඉන්දියානුවෙකුගේ නොව වෙනත් කවර ජාතික ප්‍රේක්ෂකයෙකුගේ වුවද හද ගැස්ම වැඩි කරන ආකාරයේ එකක්. ප්‍රබල පසුබිම් සංගීතය මෙන්ම එකිනෙකට නොදෙවනි ගීතවලින් සමන්විත ගීත ඇල්බමයත් චිත්‍රපටයේ මිහිරියාව වැඩි දියුණු කරනවා. සමාජ මාධ්‍යෙය් ඉහළ ප්‍රතිචාර හිමිකර ගෙන ඇති “Sher Khul Gaye” ඇතුළු සියළුම ගීත සංගීතවත් කර තිබෙන්නේ Vishal සහ Shekhar විසින්.

නිකුත් වී සතියක් ගතවන විටත් නිෂ්පාදන වියදම ආවරණය කර ගැනීමට සමත් වී නොමැති ‘Fighter’ චිත්‍රපටය කිසිඳු ලෙසක මේ ආකාරයේ ඉරණමකට ලක්විය යුතු චිත්‍රපටයක් නොවන බවයි අපගේ හැඟීම. විශේෂයෙන් Gadar 2 වැනි චිත්‍රපටයක් පවා අති සාර්ථක වූ පසුබිමක ‘Fighter’ චිත්‍රපටය චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය කිරීමෙන් පමණක් අවම වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 500 ඉක්මවා ලබා යුතු වනවා. ඉදිරියේදී සංස්කරණයන්ට යටත්ව ගල්ෆ් කලාපීය රටවල තිරගත කිරීම ආරම්භ කළ හොත් ‘Fighter’ සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ගනු ඇති බව අපේක්ෂා කළ හැකියි. ඩිජිටල් නිකුත් කිරීමෙන් (OTT) මෙයට වඩා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් අපේක්ෂා කළ හැකි වුවත් මෙවැනි චිත්‍රපටයකින් ලබා ගත හැකි සිනමා ශාලා අත්දැකීමෙන් (Theatrical Experience) අඩක් වත් ඩිජිටල් අවකාශයේ ලැබිය නොහැකි බව නම් පිළිගත යුතුමයි. ‘Top Gun’ අනුකරණයක් වන්නට ඇතැයි යන නිගමනය නිසා, පැය 2කුත් මිනිත්තු 40ක් පුරාවට දිවෙන ඉන්දියානු ගුවන රකින විරුවන්ගේ වික්‍රමය ‘Fighter’ නැරඹීම ඔබත් මඟ හැරියා නම් සැකයකින් තොරව සිනමාහලකින්ම නරඹන්නැයි අප ඔබට මතක් කර සිටිනවා.

  • උමේෂ් ද සිල්වා