ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14වැනිදා පැවැත්වෙන බව අද (29)  ප්‍රකාශ කළේය.

මේ අනුව එක් එක් කණ්ඩායම්වලට ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයන් සඳහා තරගකාරී ලෙස ලංසු තැබීමට හැකි වනු ඇත.

පෙර තරගාවලිවලදී කණ්ඩායම් සඳහා ක්‍රීඩක කෙටුම්පත් ක්‍රමය හරහා ක්‍රීඩකයන් තෝරාගැනීම සිදු විය.

සෑම කණ්ඩායමක්ම දැනටමත් ඍජු තෝරාගැනීම් 04ක් සිදු කර ඇත. විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ දේශීය ක්‍රීඩකයන් දෙදෙනෙකු ඊට ඇතුළත්ය. ඉතිරි ක්‍රීඩකයන් වෙන්දේසියට ඇතුළත් කර තිබේ.

ක්‍රීඩක වෙන්දේසිය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

වෙන්දේසියට ඉදිරිපත් වන ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා කර තිබේද නැද්ද යන්න මත පදනම මත ඔවුන්ට මූලික මිලක් පනවනු ලැබේ. ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර ඇති දේශීය සහ විදේශීය ක්‍රීඩකයන්ට ඔවුන්ගේම මූලික මිල තීරණය කළ හැකිය.

වෙන්දේසියේදී ඕනෑම වේලාවක ක්‍රීඩකයෙකු සඳහා ලංසු තැබීමේදී කණ්ඩායම් දෙකකට පමණක් සම්බන්ධ විය හැකි අතර, පෙර කණ්ඩායම් දෙකෙන් එකක් ඉවත් වූ විට තවත් කණ්ඩායමකට ලංසු තැබීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට හැකියාව ඇත.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් වෙනුවෙන් කොපමණ මුදලක් වැය කළ හැකිද?

ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ඔවුන්ට ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා භාවිත කළ හැක. එම මුදලින් අඩක් වෙන්දේසියට පෙර සිදු කළ ඍජු තෝරාගැනීම් සඳහා වැයවේ. ඒ අනුව වෙන්දේසිය සඳහා සෑම කණ්ඩායමකටම ඇමෙරිකානු ඩොලර් 500,000ක් ඇත.

කවිඳු කාරියවසම්