WhatsApp පණිවිඩ මඟින් දෙවියන්ට අවමන් කිරීමේ චෝදනාව මත 22 හැවිරිදි තරුණයෙකුට පකිස්තානයේ අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ.

පකිස්තාන පන්ජාබ් පළාතේ අධිකරණය සඳහන් කර ඇත්තේ, ඔහු මුස්ලිම් ජාතිකයින්ගේ ආගමික හැඟීම්වලට හානි කිරීමේ අරමුණින් අපහාසාත්මක ඡායාරූප සහ වීඩියෝ බෙදාගෙන ඇති බැවින් මෙම තීන්දුව ලබා දුන් බවයි.

එම නඩුවේ ම කොටසක් ලෙස තවත් 17 හැවිරිදි තරුණයෙකුට ද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර අති බවත් ඔවුන් දෙදෙනා ම තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් 17 හැවිරිදි සිසුවාට මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත්තේ ඔහු බාලවයස්කාර දරුවෙකු නිසා බව අධිකරණය ප්‍රකාශ කර ඇත.

අදාළ තරුණයින්ට එරෙහි පැමිණිල්ල 2022 වසරේදී පන්ජාබ්හි අගනුවර වන ලාහෝර්හි පකිස්ථාන ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ (FIA) සයිබර් අපරාධ ඒකකය විසින් ගොනු කරනු ලැබූ බව වාර්තා විය. මෙම තීන්දුවේදී විනිසුරුවරුන් සඳහන් කර ඇත්තේ, 22 හැවිරිදි තරුණයාට මුහම්මද් නබිතුමා සහ ඔහුගේ භාර්යාවන් පිළිබඳ අපහාසාත්මක වචන අඩංගු ඡායාරූප සහ වීඩියෝ සකස් කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කළ බවයි.

මරණ දණ්ඩනය නියම වූ වරදකරුගේ අනන්‍යතාව හෙළි නොකළ පියා විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ තමන් ලාහෝර් මහාධිකරණයට අභියාචනයක් ගොනු කරන බවයි.

කෙසේ නමුත් කුරානයට හානි කළ බවට කිතුනු මිනිසුන් දෙදෙනෙකුට චෝදනා එල්ල වීමෙන් පසු ගිය අගෝස්තු මාසයේදී නැගෙනහිර ජරන්වල නගරයේ පල්ලි සහ නිවාස විශාල ප්‍රමාණයක් ගිනිබත් කල සිදුවීමක්ද වාර්තා විය.