ඉරානයට ප්‍රතිප්‍රහාර දීමට ඊශ්‍රායෙලයට ඇමරිකානු සහය ලබා දුනහොත් කලාපයේ තිබෙන ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොම්මඩ් බගේරි ප්‍රකාශ කර ඇත.

නමුත් ඊශ්‍රායෙලය ප්‍රතිප්‍රහාරයක් එල්ල නොකරන්නේ නම් මෙම අර්බුදය මෙතැනින් අවසන් බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇති අතර මේජර් ජනරාල්වරයා පවසන්නේ ප්‍රතිප්‍රහාරයක් එල්ල කළහොත් තත්වය වඩා දරුණු විය හැකි බවයි.

තමා ප්‍රහාරය එල්ල කළේ කලාපීය අසල්වැසියන්ට සහ ඇමරිකාවට දැනුම් දීමෙන් පසුව බවද පැවසේ.

සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායෙලය එල්ල කළ ප්‍රහාරයකින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර එයට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය විසින් ඩ්‍රොන් සහ මිසයිල 300ක පමණ ප්‍රමාණයක් ඊශ්‍රායෙලයේ හඳුනාගත් ඉලක්ක වෙත එල්ල කරනු ලැබීය. එයින් 99%ක් පමණ බිම දැමීමට ජෝර්දානයේ සහ ඇමරිකාවේ සහය ඇතිව ඊශ්‍රායලය සමත් වුවත් ඇතැම් බැල්ස්ටික් මිසයිල පතිත වී ඊශ්‍රායලයට හානි සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.