මෙරට ඉස්සන් වගාව ක්‍රියාත්මක වන්නේ, ප්‍රධාන වශයෙන් හෝටල් හා සංචාරක කර්මාන්තය මෙන්ම විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කරගෙනයි.

2022 වසරේ මෙරට සමස්ත ඉස්සන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 14,000ක් පමණ වූ නමුත් එය පසුගිය වසර වනවිට මෙට්‍රික් ටොන් 11,500ක් දක්වා පහත වැටී තිබෙනවා.

වගාකරුවන් පෙන්වා දෙන්නේ, ඉස්සන්ගේ ආහාර මිල ඉහළ යාම සහ විදුලිය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම මත ඉස්සන් වගාකරුවන් කර්මාන්තයෙන් ඉවත් වීම වාර්ෂික නිෂ්පාදනය පහත වැටීමට හේතු වී ඇති බවයි.

ඒත් සමගම GSP+ තීරුබදු සහනය භාවිත කරමින් ඉස්සන් ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව දේශීය ඉස්සන් වගාකරුවන් පෙන්වා දෙනවා 

මේ හේතුකා​රණා නිසාම ජල ජීවී වගා සංවර්ධන සන්ධානය පෙත්සමකට ද අත්සන් තැබුවේ, එම ප්‍රතිඅපනයන ක්‍රියාවලිය අත්හිටුවන ලෙස ඉල්ලමින්.

එවන් පසුබිමක් තුළ මෙරටට ඉස්සන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීම හේතුවෙන් කර්මාන්තය තවදුරටත් අර්බුදයකට පත්වන බව ද ඉස්සන් වගාකරුවන් පෙන්වා දෙනවා.

GSP+ තීරුබදු සහනය භාවිත කරමින් ව්‍යාපාරිකයින් ඉන්දියාවෙන් ඉස්සන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමක නිරත වන බවට, මෙරට ඉස්සන් වගාකරුවන් චෝදනා කරනවා.