රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

මෙම තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් ලබාදෙන ලදි.

ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගය අවසන් වන තෙක් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හැරීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තමන් ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබුණා.

මේ අතර නඩු විභාගය අවසන්වන තුරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නඩු තීන්දුව බල රහිත කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සම නැවත සලකා බැලීම සඳහා ලබණ 9 වැනිදා නැවත කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කරන ලදි. ඒ අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා ඉදිරියේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදිය.