ගාලු‍මුවදොර අලංකාරය තවත් වැඩි කරන ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද විවෘත කෙරෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි .

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරු ද සහභාගි වීමට නියමිතය.

කොළඹ 01 ගාලු පාරේ පිහිටා ඇති ITC රත්නදීප හෝටලය ITC හෝටල් හි පළමු ජාත්‍යන්තර හෝටලය වන අතර එය කොළඹ අගනුවර ආරම්භ වේ.

එය කීර්තිමත් ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන ව්‍යාපෘතිය වේ.

ඩොලර් මිලියන 300ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය ඉන්දියාවෙන් පිටතදී සිදුකළ විශාලතම ඉන්දීය ආයෝජනය වනවා.

ගාලු‍ මුවදොරට අලංකාරයක් එක් කරමින් අක්කර 5 දශම 8යි 6ක වපසරියක ඉදිකර ඇති මෙම ව්‍යාපෘතියේ උසම ගොඩනැගිල්ල තට්ටු 48කින් සමන්විත වන අතර එහි උස මීටර් 224ක්.

එය අධි සුඛෝපභෝගි කාමර 352කින් සමන්විතයි.

මෙහි සුවිශේෂතාව වන්නේ මෙම ගොඩනැගිලි ද්විත්වය මීටර් 55ක දිගකින් යුත් Sky Bridge හෙවත් අහස් පාළමකින් යා කර තිබීම හේතුවෙන් මෙය දකුණු ආසියාවේ එකම සහ පළමු අහස් පාළම වීමයි.

මෙම අහස් පාලමේ අති සුඛෝපභෝගි පිහිනුම් තටාක දෙකක්ද ඉදිකර තිබෙනවා.

එමෙන්ම එහි සිටින පිරිස් වෙත ආහාරපාන ලබා ගැනීමට අහස නමින් හැඳින්වෙන ස්ථානයක්ද ස්ථාපිත කර තිබෙන අතර එම ස්ථානයට ගාලු‍ මුවදොර ඉතා අලංකාරවත් අයුරින් දර්ශනය වනවා.