රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී ඇති බව වාර්තා වේ.

මීට දින 6කට ඉහත දී පසුගිය (27) රාත්‍රී බොරලැස්ගමුව පැපිලියාන දමිතා අබේරත්න මහත්මියගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගියද ඔවුන් දෙදෙනා ඒ වන විටත් නිවසින් පිටව ගොස් තිබූ අතර කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කර ඇති බවට ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

පසුගිය (27) වැනිදින ඔවුන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම් පත මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කිරීමත් සමඟම දමිතා අබේරත්න යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් බොරලැස්ගමුව පැපිලියාන නිවසට ගොස් තිබුණි.

නමුත් එදින ඔවුන් දෙදෙනා නිවසේ සිට නොමැති අතර දමිතා අබේරත්න මහත්මියගේ මව පමණක් නිවසේ සිට ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගේ නිවස ආසන්නයේ පසුදින දහවල් තෙක් රැඳී සිට යළි පැමිණ තිබෙන බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.