පාස්කු ප්‍රහාරය සිදුවී වසර 5ක් ගත වී ඇතත් මෙම නින්දිත ප්‍රහාරය ගැන මලල්ගොඩ කමිටු වාර්තාව, ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ පාර්ලිමේන්තු විශේෂ කාරකසභා වාර්තාව මඟින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හෝ ඒවා පරිශීලනය කිරිමට රජය තවමත් කටයුතු කර නොමැති බවත් පාස්කු වාර්තාවේ කොටස් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පවා සඟවා ඇති බවත් ප්‍රමාණවත් ඔප්පු කිරීම්වලින් බැහැරව තෝරා ගත් මහමොළකරුවන් නම් කිරීම නිසා විවිධ පුද්ගලයන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පවසයි.

ඔ​හු මේ බව කියා සිටියේ ඊයේ(01) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ප්‍රමාණය හා නිර්දේශ ප්‍රමාණය, මෙම නිර්දේශ ක්‍රියාත්මක නොවීමට හේතු, මෙම විමර්ශන වාර්තා මහජනතාවට පරිශීලනය කිරිමට නොදීමට හේතු මෙන්ම වත්මන් ජනාධිපතිවරයා 2022.7.18 දින ප්‍රකාශ කළ පරිදි මේ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කර ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා එහිදි ප්‍රකාශ කලේය.

ජනාධිපතිවරයා පැවසූ එම පරීක්ෂණය සම්බන්ද තොරතුරු දැන ගැනීමට අවශ්‍ය බවත් අද සමහර මන්ත්‍රිවරුන්ට මෙය විහිළුවක් වුවත් සමස්ත ජනතාවට මෙය විහිළුවක් නොවන බවත් මින් විපතට පත් ජනතාවට විහිළුවට නොගත යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

සහරාන් සමඟ වැඩිම වාර ගණනක් දුරකථන සංවාද පැවැත්වූයේ බුද්ධි අංශ නිලධාරියකු බවට එෆ්. බී. අයි. ආයතනය ප්‍රකාශ කළත් මේ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ සිදු නොවු බවත් මීට අදාළ පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක කිරිමට විශාල වශයෙන් බාධා ඇති ව තිබෙන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ මිලේච්ඡයන් සමඟ පැවැති බුද්ධි අංශ සම්බන්ධතාව ගැන දැන ගැනීමට අවශ්‍ය බවත් ඔහු එහි​දී පැවසීය.