හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරා පැමිණ තිබේ.

මහනුවරදි පසුගිය 22 වනදා පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුදැයි තමන් දන්නා බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් සිදු කළ යුතු බවට දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.

එවන් පසුබිමක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භකරන ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 48ක් තුළ පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇති බව ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පොලිස්පතිවරයා කියා සිටියේය.