අද (27) දින අභියාචනාධිකරණය විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජනයවර්ධන මහතාට එරෙහිව පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධව ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු පෙත්සමක් සලකා බැලීම ලබන මැයි මස 28 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද දින මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදි.

මෙම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව තවත් රිට් පෙත්සමක් දෙකක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව සදහන් කළේය.

කෙසේ නමුත් මෙම පෙත්සම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබුවේය. එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම මැයි මස 28 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

මෙම පෙත්සම සමාජීය හා සාමායික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ ගරු ජූඩ් වර්නන් රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු බවට පත් වූ දේවගේ සූරාච් නිලංග යන අය විසින් ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබේ.