2010 වසරේ පොලිස් පරීක්ෂක තනතුරුවලට උසස් කිරීමේදී ඕපනායක පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු උසස් නොකිරීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුට හිමිවිය යුතු හිඟ වැටුප් සහ සියලු‍ දීමනා ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට සහ ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබෙනවා.

ඒ, එවකට උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ කමලනාත් කොඩිතුවක්කු ගොනු කළ පෙත්සමක තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කරමින්.

කෙසේ වෙතත් 2019 වසරේ ජූලි මස 15 වනදා සිට බල පැවැත්වෙන පරිදි ඔහුව පොලිස් පරීක්ෂක ධුරයට උසස් කළද එම උසස් වීම 2010 වසරේ සිට බලාත්මක කිරීම වගඋත්තරකරුවන් ප්‍රතික්ෂේප කර තිබුණා.

එමගින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි අදාළ පොලිස් නිලධාරියා මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ.

මේ අතර ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් නිලධාරීන්ගේ පාවහන් ගැටලුව සහ පොලිස් දෙපාර්තමේන්තුවට අලුතින් මිලදී ගැනීමට නියමිත උපකරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ප්‍රශ්න කළා.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද එක්ව සිටි අතර යුක්තිය මෙහෙයුම පිළිබදව මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියා.

මේ අතර වාර්ෂික අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිවලට සමගාමීව සංවිධාන කරන රථ පෙළපාලි සම්බන්ධයෙන් අධීක්ෂණයක් සිදුකරන බවද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා