ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පැවසුවේ මෙම වර්ෂයට අදාළව මුදල් වෙන් කර ඇත්තේ ජනාධිපතිවරණයකට බවත්, මහ මැතිවරණයකට නොවන බවත්ය.

මේ වසර තුළ නීත්‍යනුකූලව පැවැත් වීමට නියමිතව ඇත්තේ, මහමැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බව එතුමා තව දුරටත් අවධාරණය කළා.

එසේම ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කළ උත්සවයේදී අධ්‍යාපනයට අදාළව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමට අදාළ ව පත් කරන ලද ඒකාබද්ධ කමිටුවේ වාර්තා ලැබී ඇති බවත්, ඉදිරි සති කිහිපය ඇතුළට ඊට අදාළ අනුමැතිය ලබා ගැනීමට ක්‍රියා කරන බවයි.

ඒ අනුව, සාමාන්‍ය පෙළ විභාග පරීක්ෂකවරුන් 35,000ක් හා උසස් පෙළ විභාග පරීක්ෂකවරුන් 19,000 පමණ සිටින බවත්, මේ සියලු දෙනාට සෑහීමකට පත් විය හැකි මට්ටමේ දීමනාවක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහි දී පැවසුවා.

තවද අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැද දී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් ව ඇති අතර පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල එම විභාගය පැවැත්වීමට පෙර මැයි මස මුල දී ලබා දීමට උපරිම උත්සාහයක් දරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහි දී සඳහන් කළා.