මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 20, 21 සහ 22 යන දිනවල පැවැත්වීමට පසුගියදා (පෙබ. 15) කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පැවසීය.

පෙබරවාරි 23 වන දා පොහොය නිවාඩු දිනය යෙදෙන බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවේ.

ඒ අනුව හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පස්වරු 5.00 දක්වා සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත් (සංශෝධන), උකස් (සංශෝධන), කල්බදු මූල්‍යකරණ (සංශෝධන), දේශීය භාර ලදුපත් (සංශෝධන), සමාගම් සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම මෙන් ම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2360/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2366/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි ද විවාදයට ගැනීමට නියමිත බව කුලරත්න මහතා පැවසීය.

එදින ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය ගෙන එන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත ය.

පෙබරවාරි 21 වන බදාදා පෙරවරු 9.30 ට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක 2371/11 සහ අංක 2371/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල සදහන් නියමයන් දෙකක් විවාද කිරීමෙන් තොරව අනුමත කර ගැනීමට ද මෙහිදී එකඟත්වය පළවී ඇත. අනතුරුව පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2238/34 , 2303/23 සහ 2362/67 දරන ගැසට් පත්‍රවල සදහන් නියෝග විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිත ය.

ඉන් පසු පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය ගෙනෙන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.

පෙබරවාරි 22 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වූ බව නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.