අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බැවින් එම වෙළඳපොළ අල්ලා ගැනීම සඳහා මෙරට රජය සහ ව්‍යාපාරකයින් උනන්දු විය යුතු බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනියවන HE the Bonnie Horbach මහත්මිය සදහන් කර සිටියාය.

වැඩිදුරටත් තානාපතිනිය ප්‍රකාශ කර සිටියේ නෙදර්ලන්තයට කෙන්යාවේ සිට විසිතුරු මල් ආනයනය කරන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවටද අවස්ථාව ලබා දිය හැකි බවත් ශ්‍රී ලංකාවට විදේශ රටවල සිට මල් ආනයනය කිරීම සම්බන්ධව කනගාටුව පළකරන බවත්ය.

තානාපතිනිය මේ පිළිබඳව අදහස් පළකර සිටියේ නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තය ආශ්‍රිතව තාක්ෂණික සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ අරමුණින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පවත්වනු ලැබු සාකච්ඡාවක් අතරතුරේදිය. මේ සඳහා නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ කෘෂිකාර්මික අංශ පිළිබඳව උපදේශක Michel van Erkel මහතාද සහභාගීවී සිටියේය.