ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන
බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (11) පවසා ඇත.

දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට මධ්‍යස්ථානයක් නොමැති බවත්   රටවල් රැසක් සහභාගී කර ගනිමින් එම කටයුත්ත සිදු කිරීමට ශ්‍රී ලංකාව මුල පුරා ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.  

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ  (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමිනි.

විශිෂ්ඨ සේවා ගුරු උපහාර හා විශිෂ්ඨ පාසල , විශිෂ්ඨ සේවාවක් සිදු කළ ප්‍රාදේශීය පරිසර නිලධාරීන් හා කාර්යාල ද මෙහිදී ඇගයීමට ලක් වූ අතර පරිසර නියමුවන් 129 දෙනකු සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමිණි.

පරිසර නියමු ජනාධිපති පදක්කම ජාතික පරිසර නියමු වැඩසටහනේදී ලබා ගත හැකි ඉහළම පදක්කම වන අතර විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී එම පදක්කම්ලාභීන්ට අතිරේක ළකුණු හතරක් හිමිවේ.

විශිෂ්ඨතම පාසල ලෙස ජනාධිපති පරිසර නියමු පදක්කම් ලාභීන් 14 දෙනෙකු බිහි කළ අරලගංවිල විලයාය ජාතික පාසල සම්මාන ලැබූ අතර වැඩිම ජනාධිපති පදක්කම් ලාභීන් පිරිසක් (25) බිහි කිරීමට මග පෙන්වනු ලැබූ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය විශිෂ්ඨතම කාර්‍යාලයට හිමි සම්මානය දිනා ගෙන ඇත.

සසිදු සහන් තාරක