දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (4) සමත් විය.

ඊස්ට් ලන්ඩන්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදිමට දකුණු අප්‍රිකාව කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ආරාධනා කල අතර, දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 155ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. චමරි අතපත්තු ලකුණු වේගවත් ලකුණු 73ක්, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 54ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. විශ්මි ගුණරත්නට සහ කවීෂා දිල්හාරිට ලබාගත හැකි වුයේ එක් ලකුණ බැගින් පමණක් වන අතර, ඉනිම අවසන් කිරීමට පැමිණි නිලක්ෂිකා සිල්වා පන්දු 6කින් වේගවත් ලකුණු 12ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසු කරන්නට සමත් විය.

චමරි අතපත්තුගේ වේගවත් ඉනිමට හයේ පහර පහක් සහ හතරේ පහර හතක් ඇතුලත් වූ අතර හර්ෂිතාගේ ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම බවට පත්වූ අතර ඇය විසින් එක් හයේ පහරක් සහ හතරේ පහර හතරක් වාර්තා කලාය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 6ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වූ නමුත්, අවසන් පන්දුවාර 14ක් අවසානයේ ලකුණු පුවරුව දැක්වුයේ ලකුණු 97කට කඩුලු 4ක් ලෙසිනි. පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 155ක් රැස් කල දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වුයේ පන්දු 47කින් ලකුණු 56ක් වාර්තා කල Laura Wolvaardt. දකුණු අප්‍රිකානු ඉනිමට වේගවත් අවසානයක් ලබාදුන් Nadine de Klerk හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් සමගින් පන්දු 25ක් තුල නොදැවී ලකුණු 44ක් වාර්තා කළාය.

ශ්‍රී ලංකා ඉනිම තුලදී චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම අතර දෙවෙනි කඩුල්ලට වාර්තා වූ ලකුණු 97ක සම්බන්ධතාව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් විසින් අන්තර්ජාතික විස්සයි විස්ස තරඟයකදී දෙවන කඩුල්ල සඳහා වාර්තා කල ඉහලම ලකුණු සම්බන්ධතාව ලෙස වාර්තා අතරට එක් විය.

මෙම ජයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම හමුවේ වාර්තා කල පළමු විස්සයි20 තරගාවලි ජය වාර්තා කිරීමට හැකියාව හිමි විය. දෙපිල අතර පැවැත්වෙන සිව්වැනි විස්සයි20 තරගාවලිය මෙය අතර, මින් පෙර පැවති තරගාවලි ත්‍රිත්වයේම ජය දකුණු අප්‍රිකානු කාන්තා පිල සතුවී තිබේ. 2013 හා 2014 තරගාවලි ද්විත්ව 2-1ක් ලෙස දකුණු අප්‍රිකාව ජය ගෙන තිබූ අතර, 2018 වසරේ අවසන් වරට පැවති තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 3-0ක පරාජයක් අත්ව තිබිණි.

දෙපිල අතර පොච්ෆ්ස්ට්රූම්හිදී පැවති දෙවැනි විස්සයි20 කඩුලු 7කින් ජයගත් ශ්‍රී ලංකා පිල මේ තරගාවලියට පෙර දෙපිල එක්වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ පළමු තරගයේදී ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුනු 3ක ජයක් අත්කරගෙන තිබිණි.

දෙපිල අතර දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට ජය ගෙන ආරම්භක පිතිකාරිනි විශ්මි ගුණරත්න සිය මංගල අර්ධ ශතකය ලෙස නොදැවී ලකුණු 65ක් රැස් කළේ පන්දු 57කිනි. ඇයට අනගි සහායක් දුන් කවිෂා දිල්හාරි පන්දු 28කින් නොදැවී ලකුණු 45ක් රැස් කළ අතර, ඇය තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට ද පත් වූවාය. මුල් තරග ද්විත්වයේදීම නායිකා චමරි අතපත්තුට (1 හා 6) ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ අතර අද පැවති තීරණාත්මක තෙවැනි තරඟයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වුයේ ලකුණු 76ක විශිෂ්ට ඉනිමක් වාර්තා කරමිනි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වුයේ තරග තුන තුලදීම පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 158ක් රැස් කල දකුණු අප්‍රිකානු නායිකා Laura Wolvaardtය.