පාසල් පන්ති කාමරයක් තුළදී කුඩා දරුවෙකු අපහසුතාවයට පත් කරමින් හැසිරෙන වීඩියෝ පටයක් පටිගත කිරීමට සම්බන්ධ පුද්ගලයාට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බව වාර්තා වේ.

කුඩා දරුවෙකුගෙන් ප්‍රශ්න කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අතර, ප්‍රතිචාර දැක්වීමේදී එම දරුවා දැඩි අපහසුතාවයට ලක් වන අයුරු එහි දිස් විය. නමුත් එකි පුද්ගලයා දිගින් දිගටම දරුවා අපහසුතාවයට පත් කරමින් එය රූගත කරන ආකාරයක් එහිදි පෙනී යයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ, සිද්ධිය පටිගත කිරීමට වගකිව යුතු පුද්ගලයා හඳුනාගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන බවයි.

එම පුද්ගලයා ගුරුවරයකු බවට තහවුරු වුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව සුදුසු විනය පියවර ගන්න බවද අදාළ නිලධාරියා ප්‍රකාශ කොට ඇත.