ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ප්‍රමාණවත් විනිවිදභාවයක් දක්නට නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
අද (17) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව පැවසු අතර මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නද සහභාගි විය.
එහිදී අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ පැවැසීය.
‘‘ශ්‍රී ලංකාව නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම සමඟ පැවති සාකච්ඡා අවසන් කළ බව රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරලා තිබුණා.
බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් මෙහෙයුම් කමිටුවේ (Steering Committee) සමාජිකයන් මෙම සාකචඡාවට සහභාගි වුණා සහභාගී වුණා. ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර වල වටිනාකමින් සියයට 50 කට වඩා අයිති පිරිසක් තමයි මෙහෙයුම් කමිටුවේ (Steering Committee) සිටියේ. රජය බලාපොරොත්තු වුණා අප්‍රේල් මාසය වනවිට මෙම සාකච්ඡා අවසන් කරලා එකඟතාවයකට පැමිණෙන්න. ඩොලර් බිලියන එකොළහක මුදල සහ ණය නොගෙවපු කාලයේ එකතු වුණ ඩොලර් බිලියන 1.7 එකතු කරලා ඩොලර් බිලියන දොළහ හමාරක පමණ ප්‍රමාණයක ණය ප්‍රතිව්‍යුහගතකරණ කර ගන්න එකඟතාවයකට එන්න බලාපොරොත්තු වුණා.
2040 වන තුරු ශ්‍රී ලංකාව බැඳීමකට ලක්වෙන බවක් තමයි ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් සමඟ පැවැති සාකච්ඡාවෙන් පෙනෙන්නට තිබෙන්නේ. අවුරුදු ගණනාවකට ඉදිරියේදී තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණ කර ගන්න එකඟතාවයකට පැමිණෙන්න වර්තමාන රජය බලාපොරොත්තු වෙන්නේ. නමුත් වර්තමාන අණ්ඩුව තිබෙන්නේ තව මාස 6 ක කාලයක. ණය ප්‍රතිව්‍යුහගතකරණ කර ගන්න ආණ්ඩුව 2040 දී එකඟතාවයකට එනවා නම් ආණ්ඩුවේ ක්‍රියාකලාපයෙන් එහාට ගිහිල්ලා විපක්ෂයේ මතයත් එකතු කරගන්න.
මැයි මාසයේ අග වනවිට ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාවයකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැමිණිලා ජනාධිපතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් එම එකඟතාවය දිගටම අරගෙන යන්න ඕන.
2022 අප්‍රේල් මාසයේ 12 කිව්වා වගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟවුණේ නැ කියලා කියන්න බෑ. සංශෝධනය කරන්න ඕන කියලා කියන්නත් බෑ. එහෙම වුණොත් දෙවැනි වතාවටත් ණය පැහැරහැරිය රටක් බවට පත් වෙනවා.
1975 2020 දක්වා සිදුකළ සියලු ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ රටවල් වලින් රටවල් සියයට 60 ක් පළමු වතාවේ අසාර්ථක වෙලා තිබෙනවා. නමුත් ඒ රටවල් නැවත නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලි සඳහා ගොස් තිබෙනවා. එවැනි අවස්ථාවල රටවල් අස්ථාවර වෙනවා. රටවල් කඩාගෙන වැටෙනවා. ආයෝජකයෝ රටට පැමිණෙන්නේ නෑ. විශාල අගාධවලට රටවල් ගමන් කරනවා. ඒ නිසා ණය පැහැර හරින්න ලංකාවට හැකියාවක් නෑ. ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොල ගැන අවබෝධයක් තිබෙන පිරිසට ඒ බව තේරුම් ගන්න පුලුවන්.
සමහර දේශපාලන පක්ෂ වල පිරිස් කියනවා සියලු ණය විගණනයක් කරනවා කියලා. විගණනය කරලා කොතරම් ණය හොරකම් කළාද කවුද ණය හොරකම් කළේ කියන දේවල් හොයනවා. පසුව නැවත ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කරලා ගෙවන්න පුලුවන් කාලයේදී ණය ගෙවනවා කියලා සමහර දේශපාලන පක්ෂ සඳහන් කරනවා. ලෝකයේ මුල්‍ය වෙළඳපොල එහෙම වැඩ කරන්නේ නෑ. ණය ගත්තානම් ඒ ණය ගෙවන්න ඕන. ඒ ණය හොරකම් කරලා තිබෙනවානම් ඒ හොරු අල්ලන්න ඕන.ඒක වෙනම කතාවක්. ණය හොරකම් කරපු පුද්ගලයන් අල්ලන්න සමගි ජනබලවේගය වෙනම වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තිබෙනවා. ස්වාධීන නඩු පැවරීමේ කාර්යාංශයක් හරහා එම කටයුතු සිදුකරන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තිබෙනවා. නමුත් ණය හොරකම් කරපු පුද්ගලයන් සෙවීම සහ ස්වෛරී බැඳම්කර හිමියන් සමඟ තිබෙන එකඟතාවය කාරණා දෙකක්. සමහර දේශපාලන පක්ෂ කියන කතා ලෝකයේ මුල්‍ය වෙළඳපොලත් සමඟ ගැටෙන දේවල්.
ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලි සිදුකිරිම අත්‍යාවශ්‍ය කාරණයක්. එසේ සිදුකළොත් ශ්‍රී ලංකාව ණය ගෙවා ගැනිමට හැකි රටක් ලෙස ලෝකය පිලිගන්නවා. රටේ කර්මාන්ත වලට ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොල විවෘත වෙනවා. ආයෝජකයන්ට රටට එන්න අවස්ථාවක් ලැබෙනවා.
ණය ප්‍රතිව්‍යුහගතකරණය රටේ ආර්ථික වර්ධනය සමඟ සම්බන්ධ විය යුතුයි කියන මුලික අදහසට එකඟවෙලා තිබෙන බවක් තමයි ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් පැවැති සාකච්ඡාවෙන් පෙනෙන්න තිබෙන්නේ. නමුත් එය එසේ සිදුවිය යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ නැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය රටේ ආර්ථික වර්ධනය සමඟ සම්බන්ධ කරගත්තාට ප්‍රශ්නයක් නෑ. නමුත් එය සියයට සියක්ම බැඳි තිබිම රජයට සෘණාත්මක බලපෑමක්.
ගත්ත ණය විගණනය කරන්න හැකියාවක් නෑ. ණය අරගෙන තිබෙන්නේ ලංකාවේ නීතියට අනුව නෙවෙයි. නිව්යොත් ප්‍රාන්ත නීතියට අනුව තමයි ණය අරගෙන තිබෙන්නේ. හැමිල්ටන් රිසව් බැංකුව විසින් නිව්යොත් ප්‍රාන්තයේ දැනටමත් නඩුවක් ගොනු කරලා තිබෙනවා. විගණනය කරලා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න බෑ. ඒ නිසා තමයි අපි ජාතික ජනබලවේගයට කියන්නේ විවාදයකට එන්න කියලා. ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ කොහොමද කියලා අපිට විවාදයේදී කතා කරන්න පුලුවන්. ‘‘