අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ සහ ගුරුවරුන්ගේ මාස හයක් දක්වා වන කෙටිකාලීන විදේශ නිවාඩු අනුමත කිරීම මෙන්ම අවලංගු කිරීමේ බලයද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පැවරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එම ඉල්ලීම් අනුමත කිරීමේ දී ගතවන කාලය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අත​ර එ​ම නව තීරණයත් සමග නිළධාරීන් මුහුණ දුන් අපහසුතාවය අවම වනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ජාතික පාසල්, විද්‍යාපීඨ , ගුරු විද්‍යාල හා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල සේවය කරන දීප ව්‍යාප්ත සේවා, ඒකාබද්ධ සේවා හා ඇතැම් දෙපාර්තමේන්තුගත තනතුරුවලට අයත් නිලධාරීන්ගේ කෙටිකාලීන විදේශ නිවාඩු අනුමත කිරීම, දීර්ඝ කිරීම, අවලංගු කිරීම හා සංශෝධනය කිරීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා ඇත.

නමුත් එම නිලධාරීන්ගේ මාස හයට වැඩි විදේශ නිවාඩු සම්බන්ධ ඉල්ලීම් අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු වේ.