අද සිට නව වීසා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, දැනට ක්‍රියාත්මක ETA ක්‍රමවේදය වෙනුවට හඳුන්වාදෙන මාර්ගගත ක්‍රමවේදය වන E වීසා ක්‍රමවේදය මෙහිදී ක්‍රියාත්මක වන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙහිදී සංචාරක වීසා යටතේ වීසා වර්ග 08ක් නිකුත් කෙරෙන අතර ව්‍යාපාරික වීසා යටතේ වීසා වර්ග 04ක් නිකුත් කිරීමට නියමිතයි.

නව වීසා ක්‍රමවේදය, ඊට අදාළ ගාස්තු සපුරාලිය යුතු අවශ්‍යතා සහ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිය හැකි කාල සීමාව මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇති බවයි ආගමන හා විගමන පාලක ජෙනරාල් එච්.ජේ ඉලුක්පිටිය සඳහන් කළේ.

ඔහු පැවසුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීම හරහා වේගවත්ව වීසා නිකුත් කිරීමට අවස්ථාව උදා වන බවයි.

මේ හරහා විදෙස් සංචාරකයින්ගේ හා ආයෝජකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවා.