ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු වේලාවකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.

ජනපති රනිල් වික්‍රමසිංහගේ අරාධනාවට අනුව ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණි අතර ඔහුගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි

වසර 13කට පසු උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මෙලෙස අයිතියට පත් කිරීමට නියමිතයි.

ඌව පළාත කේන්ද්‍ර කරගමිනින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරු‍ණේ 2011 වසරේදි වන අතර මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙමගින් මෙගා වොට් 120ක ජල විදුලි ධාරිතාවක් එක්කෙරෙන අතර මෙම බහුකාර්ය ව්‍යාපෘතිය මගින් බදුල්ල, බණ්ඩාරවෙල, මොණරාගල ප්‍ර දේශවල පානීය ජල අවශ්‍යතාව මෙන්ම කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල පහසුකම් සැපයීමට ද නියමිතයි.

ව්‍යාපෘතියේ මුළු වියදම අමෙරිකානු ඩොලර් මිලියන 514ක් වන අතර ඉන් ඩොලර් මිලියන 450ක් ඉරාන රජය ණය ආධාර ලෙස ලබා දීමට නියමිතව තිබුණා.

නමුත් ව්‍යාපෘතිය ආරම්භයේ දී ඉරාන රජය ඩොලර් මිලියන 50 මුදලක් ලබාදීමෙන් පසුව ඇතිවූ සම්බාධක ගැටලු හේතුවෙන් ඩොලර් මිලියන 450ක් වූ සම්පූර්ණ මුදල ලබාදීමට නොහැකි වුණත් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළා.

කෙසේ නමුත් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් අද දින විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පැවසීය.