දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලය පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ මාස ගණනාවක් පුරා දිග්ගැස්සෙමින් පවතින ගාසා තීරයේ යුද්ධය තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් මේවන විට සුභවාදී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා.

එම කාලය ප්‍රකාශයට පත්වන්නේ ප්‍රාණ ඇපකරුවන් නිදහස්කර ගැනීම සහ අවතැන් වූ පවුල්වලට උතුරු ගාසා තීරයට ආපසු යාම සදහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ නමුත් දේශපාලන විචාරකයින් පවසන්නේ ඊශ්‍රායලයේ මෙම තීරණය “අසාමාන්‍ය ත්‍යාගශීලී” තත්ත්වයක් බවයි.

ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ද සතියක සටන් විරාමයක් ක්‍රියාත්මක වූ අතර එහිදී හමාස් සටන්කාමීන්, ප්‍රාණ ඇපකරුවන් 105 දෙනෙකු හා ඊශ්‍රායලය, පලස්තීන සිරකරුවන් 240 දෙනෙකුද නිදහස් කළා.