රාමසාන් උපවාසය අවසන් කරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන රාමසාන් දිනය අදට යෙදී තිබෙනවා.

නව සඳ දිස්වීම හේතුවෙන් අද (10) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර ඇත.

ඉස්ලාමීය බැතිමතුන් නිරහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම සහ යාච්ඤා කිරීමේ ශුද්ධ මාසය ලෙසද රාමසාන් උත්සව මාසය හදුන්වනවා.

රාමසාන් සමයේ සෑම දිනකම ඉස්ලාම් බැතිමතුන් හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා ආහාර ගැනීමෙන් වැළකී සිටින අතර ඉස්ලාම් බැතිමතුන් පවුලේ අය සහ මිතුරන් සමඟ ආහාර බෙදා ගැනීමෙන් ඔවුන්ගේ දෛනික උපවාසය අත්හරියි. රාමදාන් අවසන් කරන්නේ ඉස්ලාමයේ ප්‍රධාන නිවාඩු දිනයක් වන ඊද්-අල්-ෆිතර් නම් ප්‍රධාන උත්සවය සමරමින්‍ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද රාමසාන් දින සිය පණිවුඩය නිකුත් කරමින් සදහන් කර සිටින්නේ ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙත ද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇතිව බවය.

වැඩිදුරටත් ජනාධිපතිවරයා සිය නිල පණිවුඩය ඔස්සේ ප්‍රකාශ කර සිටින්නේ මෙවර ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පොදුවේ අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා එළැඹෙමින් පවතින අවධියක බවයි.

රාමසාන් උත්සවය නිමිත්තෙන් ඉස්ලාමි දේවාස්ථාන ආශ්‍රිතව විශේෂිත ආරක්ෂිත වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇත.