මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා තිබෙන බව යි.

ලබන 18 වැනිදා වනවිට ඔවුන්ට අදාළ හිග මුදල් ඇතුළු සියලු ගෙවීම් ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය. දැනට පවුල් 1,854,000 ක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා බවත් එම පවුල් වෙනුවෙන් රුපියල් බිලියන 58.5ක මුදලක් රජය වැය කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කළ පවුල් 200,000ක් පමණ මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇතැයිද සේමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය. එතුමා සදහන් කර සිටියේ මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සහ ජනමාධ්‍ය මගින් දැනුවත් කිරීම් සිදු කළද මෙතෙක් එම පවුල්වල සාමාජිකයන්ගෙන් ප්‍රතිචාර ලැබී නොමැති බවයි.

400,000කට අධික සංඛ්‍යාවක් අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් ලැබී ඇති බවත් ඉන් පවුල් 286,000ක් පමණ මේ වන විට පද්ධතියට ඇතුළත් කර ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය. ඊට අදාළ සංගණන කටයුතු මැයි මස ආරම්භ කිරීමට නියමිත බවද එතුමා ප්‍රකාශ කරනු ලැබුවේය.

පවුල් ලක්ෂ 24ක් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් කර ගැනීමට රජය අපේක්ෂා කරන බව සදහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඒ සඳහා මෙවර අයවැය මගින් ඊට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 205 ක් බවයි.