රත්නපුර ශ්‍රී පාද මාර්ගයේ ඇහැළ කණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මීටර් 100ක පමණ ප්‍රපාතයට ඇද වැටී සිටි ඉන්දීය ජාතික තරුණයෙකු බේරා ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි, මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

එම තරුණයා තවත් පිරිසක් සමග රත්නපුර ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩ මළුව වෙත ගමන් කර ඇති අතර අද (29) අලුයම 4:45ට පමණ ඇහැළ කණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් ඉවතට වැටී මීටර් 100ක පමණ ප්‍රපාතයට ඇද වැටී ඇත.

සිදුවිම සම්බන්ධයෙන් ශ්‍රී පාද උඩ මළුව පොලිස් මුරපොළේ නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දැනුවත් කර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රපාතයට වැටී සිටි තරුණයාව බේරා ගෙන ශ්‍රී පාද උඩ මළුව වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිස් ස්ථානය දැනුවත් කර තුවාල ලැබූ ඉන්දීය ජාතිකයා නල්ලතන්නිය දක්වා රැගෙන යාමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ, අනතුරුව ඔහු මස්කෙළිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.