අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මේ මැයි මස ආරම්භ කිරීමට නියමිත ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කැනඩාවේ වැන්කුවර්හි ජන හමුව අමතමින් ප්‍රකාශ කරයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අලුතින් පරීක්ෂණ අවශ්‍ය නොවන බවත් පරීක්ෂණ හරහා මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව සොයා බැලිය යුතු බවත් ඔහු පවසයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැන් විශ්‍රාම ගොස් ජාතික ජන බලවේගය සමග කටයුතු කරන අතර එහි විමර්ශන මෙහෙයවූ CID ප්‍රධානියෙකු මෙම මැයි මස ආරම්භ කිරීමට නියමිත විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බවද ඔහු එහිදි සඳහන් කලේය.

ප්‍රහාරවල වැරදිකරු කවුරුන් ද යන්න තමන් හොඳින් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ යුතු බවයි. එය එවකට සිටි ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යවරයාගේ බරපතළ ප්‍රකාශයක් බවත් ප්‍රහාරයෙන් පසු මාස හතක් සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බවත් ඔහු සිහිපත් කළේය.