අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැද දී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් ව ඇති බැවින් අ.පො.ස උසස් පෙළ  ප්‍රතිඵල මැයි මස මුලදී ලබාදීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද ‘පර්යේෂණ උපාධි අධීක්ෂණය කිරීම’ සඳහා දායක වූ ශ්‍රී ලාංකීය පරියේෂණ උපාධි අධීක්ෂකයන් සම්මානයට පාත්‍ර කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ‍යේ ශ්‍රවණාගාරයේ පැවති සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

එසේම උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමට අදාළව පත් කරන ලද ඒකාබද්ධ කමිටුවේ වාර්තා ලැබී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළට ඊට අදාළ අනුමැතිය ලබා ගැනීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසා සිටියා.