ඉකුත් 09 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන දැනුම් දුන්නේ ජනපතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් ඒ අනුව ජනපතිවරණ අපේක්ෂකයෙකු වෙනුවෙන් පැවති ලියාපදිංචි පක්ෂයට රුපි‍යල් 50,000ක් වූ ඇප මුදල රුපියල් ලක්ෂ 26ක් දක්වා වැඩිකර ඇති අතර, ස්වාධීන අපේක්ෂකයෙකු සඳහා නියමිතව තිබු රුපියල් 75,000ක ඇප මුදල රුපියල් ලක්ෂ 31 දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බවත් ය .

එලෙස මැතිවරණය සඳහා තැන්පතු මුදල් ඉහළ දැමීමට එරෙහිව අල්ලස හා දුෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අයුරින් ඇප මුදල් ඉහළ දැමීමෙන් මුදල් ඇති පිරිස් වලට පමණක් මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවකාශය ලැබෙන බවත්, සාමන්‍ය පුරවැසියන්ට එය එසේ සිදුනොවන බවත් අදාළ පැමිණිල්ල මගින් පැමිණිකරුවන් සඳහන් කර තිබෙනවා.