ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ (21) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇති අතර ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව වැඩිදුරටත් පැවසෙයි.

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති පසුබිමක මෙම හමුව සිදුවී තිබුණූ අතර මැතිවරණය  පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවක් ඇතිවී නොමැති බැවින් ඉදිරියේදී තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

මේ අතර අද (22) පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

“ඕනම මැතිවරණයකට අපි සූදානම්. හොඳම වැඩේ තමයි බැසිල් ඔය යෝජනා කරලා තියෙන්නේ. මුලින් පාර්ලිමේන්තු මැතිවරණය තියලා පස්සේ ජනාධිපතිවරණය තියන්න. නැත්නම් වෙන්නේ ජනාධිපතිවරණයෙන් දිනන ඕනම පක්ෂයකට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ඇති වෙනවා. සාධාරණයක් ඇති වෙන්න ඕනේ නම් මුලින් මහමැතිවරණය තියන්න ඕනේ.”