ශ්‍රී ලංකාව සහ රුමේනියාව නව ක්ෂේත්‍රවල සහයෝගීතාවය සහ ආයෝජනය පිළිබඳව ද්විත්ව බදුකරණය වැළැක්වීමේ ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර  දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ ආර්ථික සහයෝගීතාව මෙන්ම නව ක්ෂේත්‍රවල ආයෝජන කරා ළඟා වීමට ගත යුතු පියවර” පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ රුමේනියානු තානාපති Doamna Steluśa Arhire අතර සාකච්ඡා පසුගියදා පැවැත්වුණා.

වෙළඳ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීම සහ ද්විත්ව බදුකරණය වැළැක්වීම සඳහා රුමේනියාව ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කරන බව තානාපතිවරිය එහිදි  සඳහන් කර ඇත.

නව කෙටුම්පත දෙපාර්ශ්වයම අනුමත කිරීමෙන් පසු අධ්‍යාපනය, සංස්කෘතිය, ක්‍රීඩා සහ මාධ්‍ය සහයෝගීතාව පිළිබඳ තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

“කෘෂිකාර්මික, දුම්රිය, තොරතුරු තාක්ෂණ, සයිබර් ආරක්‍ෂාව සහ සංචාරක යන ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා සහ සහයෝගීතාව සලකා බලන ලෙස” අග්‍රාමාත්‍යවරයා එහිදී තානාපතිවරියගෙන් ඉල්ලා තිබෙනවා.

පසුගිය වසරේ දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 127 දක්වා සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බවද  සඳහන්.