මෙරට HIV නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

2022 වසරට සාපේක්‍ෂව 2023 වසරේදී HIV නව ආසාදිතයින් සියයට 14.3ක වර්ධනයක් පෙන්නුම් කරන බව එහි අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළාය.

පසුගිය වසරේ දී නව HIV ආසාදිතයින් 694 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩි දෙනෙකු පිරිමි පුද්ගලයින් වේ.

ඒ අනුව පිරිමි පුද්ගලයින් 611 දෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 88ක් බවත් එම කාලය තුළ කාන්තාවන් 81 දෙනෙකු නව HIV ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 11.7 ක් බවත් විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළාය.

මේ වන විට සමාජ තුළ සිටින ඇස්තමේන්තුගත HIV ආසාදිතයින් සංඛ්‍යාව 4,100ක් පමණ වන බව වාර්තා වේ.

මේ අතර යම් පුද්ගලයෙකු හට HIV ආසාදනය වී ඇත්නම් එහි රෝග ලක්ෂණ පෙන්වීම සඳහා වසර අටක පමණ කාලයක් ගත වන බව විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසන්නීය.

එම නිසා HIV රෝග ලක්ෂණ හා සමාන අවදානම් හැසිරීමක් පෙන්නුම් කරන්නේ නම් HIV පරීක්ෂාවක් සිදුකිරීම අත්‍යශ්‍ය කරුණක් බවත් ඒ සඳහා වැඩපිළිවෙල රැසක් ආරම්භ කර ඇති බවත් විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

“2025 වසරේ සිට සියලුම දිස්ත්‍රික්කවල වැඩි අවදානම් කණ්ඩායම කෙරෙහි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ සඳහා ගෝලීය අරමුදල යටතේ ආධාර ලබාගැනීමට දැනටමත් ව්‍යාපෘති සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. දැනට වැඩි අවදානම් සහිත හැසිරීම් ඇති පුද්ගලයින්ට අපි නිතරම උපදෙස් ලබාදෙන්නේ HIV පරීක්ෂණයක් කරගන්න කියලා. සමහර අය ඒ සඳහා මැලිකමක් දක්වනවා. ඒ අයට තනියම ටෙස්ට් එකක් කරගන්න අවශ්‍ය පරීක්ෂණ කට්ටල ඇනවුම් කරන්න පුළුවන් නොමිලේ කුරියර් සේවාවක් හරහා ලබාගන්න පුළුවන්. මේ සඳහා Know4Sure ඇප් එක භාවිත කරලා ඇනවුමක් ලබාදෙන්න. එවිට නිවසටම නොමිලේ ගෙන්වා ගන්න පුළුවන්.”