පවතින තත්ත්වය යටතේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම එකම දිනක පැවැත්වීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.

කොමිසම වෙතින් මෙම ප්‍රතිචාරය ලැබෙන්නේ ඉහත කී මැතිවරණ දෙක එකම දිනයක පැවැත්වීම සම්බන්ධයෙන් විටින් විට කතාබහට ලක්වෙමින් පවතින බැවිනි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ පවතින තත්ත්වය අනුව මැතිවරණ දෙක එකම දිනයක පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

“ජනාධිපතිවරණයක් එනකොට අපි හැම දිස්ත්‍රික්කයකටම එකම ඡන්ද පත්‍රිකාවක් පාවිච්චි කරනවා, නමුත් පාර්ලිමේන්තු මැතිවරණයකදී එක එක දිස්ත්‍රික්කවලට එක එක ඡන්ද පත්‍රිකා පාවිච්චි කරන්න වෙනවා. මේක එක ප්‍රශ්නයක් විතරයි. තවත් හේතු ගොඩක් තියෙනවා මේ මැතිවරණ දෙකම එකම දිනයක පවත්වන්න බැරි වෙන්න.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් අදාළ විධිවිධාන සංශෝධනය කර, ඇති විය හැකි ගැටලුවලට විසඳුම් ලබා දෙන්නේ නම් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක පැවැත්විය හැකි බවද ඔහු සඳහන් කළේය.

“දැන් පවතින තත්ත්වය යටතේ ඒක කරන්න බැහැ. යම් දිනක අදාළ ප්‍රතිපාදන සංශෝධනය කර, ඇති විය හැකි ප්‍රශ්නවලට විසඳුම් ලබා දුන්නොත් එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවා.” යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

කෙසේවෙතත් එය ඉදිරි ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නොවිය යුතු බවද රත්නායක අවධාරණය කළේය.

පසුගිය කාලය පුරාම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු පක්ෂ කිහිපයක්ම ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ දෙකම එකම දිනක පැවැත්විය යුතු බවට යෝජනා කර ඇත්තේ එමඟින් මැතිවරණ වියදම්වලින් සැළකිව යුතු කොටසක් ඉතිරි කර ගත හැකි බව පෙන්වා දෙමිනි.

මෙම වසරේ (2024) ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ යන දෙකටම රජය පහසුකම් සපයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ (2023) අගභාගයේදී ප්‍රකාශ කළ නමුත් ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය මේ වසරේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණය 2025 වසරේ දී පැවැත්වෙන බවයි.