ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය  බාර ගන්නැයි  එම පක්ෂයේ විධායක සභිකයෝ  සහ ආසන සංවිධායකයෝ  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන්  එක හඬින් ඉල්ලීමක් කළහ.

මේ සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ  මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  විධායක සභිකයන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි  එම පක්ෂ මූලස්ථානයේදී  පැවැත්විණ.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම රැස්වීමේ ආරාධිත දේශකයකු ලෙස  සහභාගි වූ අතර ආසන සංවිධායකවරුන් විධායක සභිකයන් ඔහුගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය, පක්ෂයේ  ආරම්භය සහ විකාශනය, පංච මහා බලවේගය ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් තමා එහිදී  දේශනයක් පැවැත්වූ බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.