බයිය නායකයකු පත් කිරීම නිසා රට විනාශ වී ඇති මොහොතක සවාරි නායකයා ලෝකෙ වටේ රවුම් ගැහුවත් රටට තඹ සතයක්වත් ලබා නොගත් බවත් ඒ අතර තමන්ගේ පක්ෂයට ලැබෙන මුදල් වියදම් කර බොරු සෝබන සංදර්ශන පවත්වා මිනිසුන් ගෙන්වා කයිය ගහන නායකයෝ සිටින බවත් රටට අවශ්‍ය බයිය නායකයෝද සවාරි නායකයෝද කයිය නායකයෝද එසේ නොමැති නම් වැඩ කරන නායකයෝද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 157 වැනි අදියර යටතේ අද හම්බන්තොට කිරින්ද මුස්ලිම් විද්‍යාලයට රුපියල් ලක්ෂ 11ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ රට සෝබනයට කයිවාරුවට ගජමිතුරු දූෂිත ගණුදෙනු තුළින් ගොඩගත නොහැකි බවත් රට අවශ්‍ය හොර පවුල් බයිය නායකත්වයද?, බොරුවට රටේ මුදල් සම්පත පිටරට සවාරි හරහා විනාශ කරන සවාරි නායකයන්ද? නැතිනම් කයිය නායකයෝ ද? එසේත් නොමැති නම් බලයක් නොමැතිව වැඩක් කර පෙන්වූ වැඩ කරන නායකයෝ ද? කියා ජනතාව තීන්දු කළ යුතු බවත් මේ තීන්දුව ජනතාව අතේ ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

බංකොලොත් රටේ රට ගොඩගන්න නායකත්වය අවශ්‍ය බවත් රට ගොඩගන්න නායකත්වයට දර්ශනයක් වැඩපිළිවෙළක් මෙන් ම පවතින වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර කියන දේ කරන කරන දේ කියන කටින් පිටවෙන වචන මහ පොළොවේ සත්‍ය හා යථාර්ථය බවට පත්වන බවට පත් කළ හැකි බවට ලක්ෂ 220 ජනතාවට රටේ නායකයන් ඔප්පු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අප රට බංකොලොත් වී ඇති මොහොතක රට ගොඩ එන වැඩපිළිවෙළක් නොමැති වීම නිසා අත්දැකීම් සහිත ඉංජිනේරුවන් වෘත්තිකයන්ට නිසි වැටුපක් වේතනයක් නොලැබෙන නිසා දහස් ගණනින් රට අත හැර යාම ඇතුළු දැවැන්ත බුද්ධි ගලනයක් සිදු වන බවත් මේ ආකාරයට රටට වෘත්තිකයන් අහිමි වුවහොත් රටේ දියුණුවට ආර්ථික වර්ධනයට හා සමාජ ප්‍රගතියට සිදුවන හානිය මෙතෙකැයි කියා නිමකළ නොහැකි බවත් මොවුන් රට අතහැර යනවා වෙනුවට මේ රටේ ම ජිවත් වී රට ගොඩගැනීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කළ යුතු බවත්ය.