පාස්කු ප්‍රහාරයේ වගකීම යහපාලන ආණ්ඩුව භාරගත යුතු බවත් සහරාන් අත්අඩංගුවට ගත යුතු බව පැවසුවද එලෙස නොකළ අතර යහපාලන ආණ්ඩුව මුස්ලිම් ඡන්ද සඳහා ගැති වූ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියේය.

ඊයේ (20) ගරු සිරිල් ගාමිණි පියතුමන් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ය.

වැඩිදුරටත් ඔහු සදහන් කර සිටියේ පාස්කු ප්‍රහාරය සිදුකළේ මුස්ලිම් අන්තවාදීන් යැයි එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජාත්‍යන්තර බුද්ධි අංශ තුනක් තහවුරු කර ඇති බවයි. ජාත්‍යන්තර බුද්ධි අංශ සඳහන් කර ඇති පරිදි නවසීලන්තයේ මුස්ලිම් බැතිමතුන් ඝාතනය කිරීම නිසා මෙරට කතෝලික පල්ලිවලට ප්‍රහාර එල්ල කර ඇති බවත් මේ වන විටත් මෙම ප්‍රහාරය සදහා වගකිව යුතු මහමොළකරු වන නවුෆර් මවුලවී නැමැත්තා සිරභාරයේ සිටින අතර ඔවුන්ට දැඩි දඩුවම් දිය යුතු බවත් හිටපු අමාත්‍යවරයා පවසා සිටියේය.

දඩුවම් දීමේ ප්‍රමාදය තිබෙන්නේ අධිකරණයේ බවත් නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට මේ සම්බන්ධයෙන් චෝදනා 23000ක් ගොනු කර ඇති බවත් මෙම සිදුවීම සම්බන්ධව මහාධිකරණ 12ක නඩු විභාග වෙමින් පවතින බවද සරත් විරසේකර මහතා පැවසීය.

සරත් වීරසේකර මහතා තවදුරටත් සදහන් කර සිටියේ සිරිල් ගාමිණි පියතුමා කියපු දේ අලුත් දෙයක් නම් CID ය ඒ ගැන විමර්ෂණය කරාවි බවත් නමුත් මෙලෙස එතුමා තොරතුරු දීමට ප්‍රමාද වීමද ප්‍රශ්නයක් බවයි.